බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ එකතුව

මහින්දාගමනය ත්, සමග බෞද්ධ සංස්කෘතියේ සහ බෞද්ධ සාහිත්‍යයේ ආරම්භය සිදු විය. ඒ සමයේ ලියැවුණු සියලු ම සාහිත්‍යමය ග්‍රන්ථයන් බුදුදහම ඇසුරින් බිහි වූ ඒවා බව පෙනෙන්නට තිබෙන කරුණකි. එ පමණක් නො ව සියලු ම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලන කටයුතු පවා බුදුදහම කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුනු බව පැහැදිලි වන කරුණකි.

අනුරාධපුර යුගයේ සිංහල බෞද්ධ සාහිත්‍ය කෘති අතරින් දැනට ඉතිරි ව ඇත්තේ ගද්‍ය සාහිත්‍යයේ ග්‍රන්ථ අතලොස්සක් පමණකි. අනුරාධපුර යුගයෙන් ඇරැඹෙන සංස්‌කෘතික හා ජාතික පුනරුදය සමග සමතැන්හි තැබීමට තබා සසඳා බැලීම ට තරම්වත් සංස්‌කෘතික ප්‍රබෝධයක්‌ ලොව කොතැනක හෝ නොමැති බව විද්වත්හු සඳහන් කරති. එ සේ නම් ඒ සියලු සාධනීය විජයග්‍රහණයන්ට පදනම බුදුදහම බවද අප සිහි කළ යුතු ය. පොළොන්නරු යුගයේ ගද්‍ය සහ පද්‍ය කෘති කිහිපයක් දැනට ශේෂ ව පවතී. කාලිංග මාඝ ඇතුළු සොලී ආක්‍රමණ හේතුවෙන් අනුරපුර සහ පොළොන්නරු යන රාජධානි දෙකෙ හි ම පැවති බොහෝ වටිනා සාහිත්‍ය ග්‍රන්ථයන්, බෞද්ධ ධර්ම ග්‍රන්ථයන් ඇතුළු බොහෝ ශාස්ත්‍රීය මට්ටමේ වැදගත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ රාශියක් ලොවින් සදහට ම ගිලිහී ගිය බව කනාගාටුවෙන් වුව ද, සඳහන් කළ යුතු ය.

නැවත වරක් බෞද්ධ සංස්කෘතික පුනරුදය ගොඩනැගෙන්නේ දඹදෙණිය සාහිත්‍ය යුගයේ දී ය. පොළොන්නරු යුගයේ අවසානයේ සිට වසර ගණනාවක් බෞද්ධ සාහිත්‍යයක් බිහි නො වීම සහ පැවති සාහිත්‍යය මුළුමනින් ම විදෙස් ආක්‍රමණ හමුවේ විනාශ වීම ත්, නිසා සිංහල ජන හදවත් තුළ සාහිත්‍යය සඳහා පැවති වුවමනාව තවදුරට ත්, දෙගුණ තෙගුණ වන්නට ඇත. ඒ හේතුවෙන් ම සිංහල සාහිත්‍ය වංශයෙ හි විවිධත්වයෙන් යුතු, විවිධ ශෛලියෙන් යුතු සාහිත්‍ය කෘති සම්භාරයක් දඹදෙණි යුගයෙහිදී බිහි විය. 

පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වැනි බෞද්ධ සාහිත්‍යය ග්‍රන්ථයන් ද, කව්සිළුමිණ නම් වූ මහා කාව්‍යය ද, සිදත් සඟරාව වැනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ ද, එළු සැදැස් ලකුණ වැනි සිංහල පාලි යන භාෂා ද්වයෙන් ම ඡන්දස් ග්‍රන්ථ ද, ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි සන්න ග්‍රන්ථ සාහිත්‍යයට එක්වීම ද, ප්‍රයෝගරත්නාවලිය වැනි වෙද පොත් නිර්මාණය වීම ද, උක්ත බොදු සංස්කෘතික පුනරුදය නිසා ම බිහිවන්නට ඇත යි නිගමනය කළ හැකි ය.

එයින් පසු රාජධානි යාපහුව, කුරුණෑගල, ගම්පොල වෙත සංක්‍රමණය වුව ද, දඹදෙණිය යුගයෙන් ඇරඹි සංස්කෘතික පුනරුදය නිසා නො නවත්වා ම බොදු සාහිත්‍යය තවදුරට ත්, පෝෂණය විය. කුරුණෑගල යුගයේ දී පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සහ සද්ධර්මාලංකාරය රචනා වීම සිදු විය. කෝට්ටේ යුගය වන විට ගද්‍ය සාහිත්‍යය ට නො දෙවැනි පද්‍ය සාහිත්‍යයක් ද, බිහි විය. ලෝවැඩ සඟරාව, සිරිත් මල්දම, ගුත්තිල කාව්‍යය, බුදුගුණාලංකාරය ආදී බෞද්ධ සාහිත්‍යමය වටිනාකමින් පරිපූර්ණ ග්‍රන්ථ සාහිත්‍යයක් බිහි විය.

අනුරාධපුර යුගයෙන් ඇරඹි බොදු සාහිත්‍යය යුග ගණනාවකින් පසු වර්තමානයේ ද, යම්තාක් දුරට හෝ ඉතිරි ව ඇතත්, අතීතය සමග සසඳා බලන විට එ හි යම් පරිහාණියක් තිබෙන බව කිව යුතු ය. එය ට ප්‍රධාන ම හේතුව එ කල සියලු සාහිත්‍ය ග්‍රන්ථයන් ගේ පසුබිම බුදුදහම වීම සහ මෙ කල බිහිවන බොහෝ සාහිත්‍යය ග්‍රන්ථයන් ගේ පසුබිම බුදුදහම නො වීම බව කිව හැකි ය. එ කල සහ මෙ කල අතර සසඳා බලන විට අනෙක් සියලු අංශයන් ගේ ද, මේ තත්වය ම ඇති බව පෙනේ.

කෙ සේ නමුත් අතීතයේ පැවති උතුම් බෞද්ධ සාහිත්‍ය කෘතීන් වර්තමානයේ පවතින නවීනතම තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගෙන පහසුවෙන් පරිශීලනය කළ හැකි පරිදි සකස් කර අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ නො මිලයේ ලබා දීම ට හැකි වීම පිළිබඳ අප සතුටු විය යුතු ය. මේ සඳහා දායක වී ඇති සියලු දෙනා හට ත්, සියලු ම පාර්ශවයන් වෙතත් අප ගේ පුණ්‍යානුමෝදනාව මෙ සේ පලකර සිටිමු.

TOP