Buddha Wansha Deshana

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

 

සෝභිත බුද්ධ වංශය

රේවත බුදුරදුන් ට පසු කාලයෙ හි එකඟ වූ සන්සුන් සිත් ඇති  අසම වූ  තමාහට සමානයෙක් නැති සෝභිත නම් ලෝහිමි බුදුරජතෙම පහල විය. ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙ හි දී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. දම්සක් දෙසුමෙ හි දී උඩින් භවාග්‍රය තෙක් ද, යටින් අවීචිය තෙක් ද,  මේ අතර එක පිරිසක් විය. සම්බුදුවරතෙම ඒ පිරිසෙ හි දම්සක් පැවැත්විය. ගණන් නො කළ හැකි පිරිසක ට පළමුවන ධර්මාවබෝධය විය.

ඉන් පසුව ත් දෙවි මිනිසුන් ගේ සමාගමයෙ හි දී දහම් දෙසන කල් හි කෝටි අනූ දහසක් දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය විය. නැවත "ජයසේන" නම් කැත් රජදරු තෙම ආරාමයක් ගොඩනගා ඒ  කාලයෙ හි බුදුරදුන් ට පාවාදුන්නේ ය. පසැස් ඇති බුදුරජතෙම ඒ "ජයසේන" රජු ගේ දානය වර්ණනාකොට දහම් දෙසූ සේක. එ කල්හි කෝටි දහසක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය විය.

මහාඍශි වූ සෝභිත බුදුරදුන් ට තාදී ගුණ ඇති  සන්හුන් සිත් ඇති  රාගාදී කිලුටු රහිත රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.

"උග්ගත" නම් වූ ඒ රජ, සොභිත නරදෙටුවන් වහන්සේ ට දානයක් දුනි. ඒ දානයෙ හි සියක් කෝටියක් පමණ රහතන් වහන්සේ පැමිණියා හ. මෙ සේ පළමු රැස්වීම විය. නැවත නුවර වැසි සමූහයා, සොභිත නරදෙටුවන් වහන්සේ ට දානයක් දුනි. ඒ කාලයෙ හි අනූ කෝටියක්  රහතුන් ගේ දෙවන රැස්වීම විය. පස්මරුන් දිනූ සොභිත බුදුවරතෙම දෙව්ලොවෙ හි වස් විසීම් කොට යම් කලෙක බැස්ස සේක් ද,  ඒ කාලයෙ හි අසූ කෝටියක් රහතුන් ගේ තුන්වන රැස්වීම විය.

මම ඒ කාලයෙ හි "සුජාත" නම් බමුණෙක් වීමි. ඒ කාලයෙ හි ශ්‍රාවකයන් සහිත වූ බුදුරදුන් ආහාර පානයෙන් වැළඳවීමි. ලෝ නා හිමි වූ ඒ සෝභිත බුදුවරයන් වහන්සේද,  "මේ තෙම මෙයින් පමණ නො කළ හැකි කපෙ හි බුදු වන්නේ ය" යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය.   පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද,  "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   "ආනන‍ද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද,  "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ රේවත බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන්ම අපි හැමදෙන මේ සෝභිත බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ බුදුරදුන් ගේ ද, වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දසපෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

මහඍෂී වූ සොභිත බුදුරදුන් ගේ උපන් නගරය "සුධම්ම" නම් විය. පියතෙම "සුධම්ම" නම් රජ ය. වැදූ මව "සුධම්මා" නම් වූවා ය. ඒ සෝභිත බුදුරජතෙම අවුරුදි දසදහසක් ගිහිගෙයි විසී ය. කුමුදය,  කලීරය,  පදිමය, යන උතුම් තුන් පහයක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ සැත්තෑසය දහසකි. අග බිසව "සමංගී" නම් වූවා ය. පුත් තෙම "සිංහ" නම් විය. පුරුෂොත්තම වූ ඒ බුදුරජතෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කළේ ය. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්යයෙ හි හැසිර  "නා" රුකක් මුල දී සිව්සස් අවබෝධ කරන ලදී.

මහාවීර වූ සොභිත නම් ලෝනාහිමි වෙත බඹහු විසින් අයදනා ලද්දේ,  "සුධම්ම" නම් උතුම් උයනෙ හි දී දම්සක් පැවැත්විය. මහඍෂී වූ සෝභිත මුනිඳුන් ට "අසම" ද,  "සුනෙත්ත" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම,  "අනොම" නම් වී.  "නකුල" ද,  "සුජාතා" ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. "රම්ම" ද,  "සුනන්ත" ද, යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූ හ.  "නකුලා" ද,  "සුජාතා" ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ. සොභිත නම් මහ මුනිඳු පනස් අට රියනක් උස්වීය. උදාහිරු මෙන් සියලු දිශාවන් හොබවයි.

මල් පිපුණු මහ වනය නොයෙක් සුවඳීන් යම් සේ සුවඳ කරන ලද්දේ ද, එ මෙන් උන්වහන්සේ ගේ සද්ධර්මය සිල් සුවඳින් සුවඳ කරන ලද්දේ ය. යම් සේ සාගරය දැකීමෙන් සෑහීමකට නො පැමිණේ ද,  එ පරිද්දෙන් ම උන්වහන්සේ ගේ සද්ධර්මය ඇසීමෙන් සෑහීමකට නො පැමිණේ.

ඒ කාලයෙ හි අවුරුදු අනූදහසක් ආයුෂය පවතී. ඒතාක් කල් වැඩසිටිමින් ඒ සෝභිත බුදුරජතෙම බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක. ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාද ද, අනුශාසනා ද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිත ව පිරිනිවි සේක.

අසම වූ ඒ බුදුරජහු ද සීලාදියෙන් බලය ට පැමිණි ඒ ශ්‍රාවකයෝ ද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද? හිස්වූවා ම ය.

සොභිත නම් වු උතුම් සම්බුදුරජතෙම සීහාරාමයේ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස් හි ධාතු පැතිරවීම විය.
[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, සෝභිත බුද්ධවංශය]

TOP